තමාට අමතන්න තමාගේ නිවසේ දුරකථන අංකය දරුවකුට ලබාදුන් ජනපති මෛත්‍රී


                
සුගිය සතියේදී ජනපති මෛත්‍රීට විවාහ මංගල උත්සවවලින් අඩුවක් නොවීය. එක් 
විවාහ මංගල උත්සවයක් වූයේ ලලිත් දිසානායක නියෝජ්‍ය ඇමැතිවරයාගේ සහෝදරයාගේ පුතාගේ විවාහ මංගල උත්සවයයි. වෝටර්ස් එජ් හෝටලයේ පැවැති විවාහ මංගල උත්සවයට සහභාගී වූ මෛත්‍රී අසලට කුඩා දරුවෙක් පැමිණියේය.
“අංකල්, මට ටෙලිෆෝන් අංකය දෙන්න පුළුවන්දැයි”  එම දරුවා මෛත්‍රීගෙන් දුරකථන අංකය ඉල්ලුවේය. තමාගෙන් දුරකථන අංකය ඉල්ලන දරුවා ළඟට කරගත් මෛත්‍රී තමන්ගේ ගෙදර දුරකථන අංකය දුන්නේය. ඉන් පසුව එම දරුවා “ජනපතිගෙන් ගෙදර”  ලිපිනයද ඉල්ලුවේය. මෛත්‍රී විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ ලිපිනයද දුන්නේය.
“මට ඇවිත් අංකල් හමුවෙන්න පුළුවන්ද”එම දරුවාගෙන් තවත් ප්‍රශ්නයකි.
“ඕනම වෙලාවක ඇවිත් මාව හමුවෙන්න පුළුවන්”මෛත්‍රී පිළිතුරු දුන්නේය.
“මම නංගිටත් මේක කියන්න ඕන”යැයි කියූ දරුවා දුවගෙන ගියේ මහත් ප්‍රීතියෙනි.
ඉන් පසුව මෛත්‍රී ගියේ විනිල් මැණික් ආයතනයේ හිමිකරු වන ඩබ්ලිව්. විනිල්ගේ දියණියගේ විවාහ මංගල උත්සවයටය. “සිනමන් ගාර්ඩන්” හෝටලයේදී පැවැති විවාහ මංගල්‍යයේ මනාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කළේ මහින්දය. මෛත්‍රී මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් තැබුවේය. මහින්දත් මෛත්‍රීත් මුහුණට මුහුණ හමුවී විවාහයේ සාක්ෂියට අත්සන් කළත් දෙදෙනාම එක් වචනයක්වත් කතා නොකිරීමට වගබලාගත්තෝය. මුහුණට මුහුණ බලාගෙන කිසිදු සිනහවක් නොමැතිව දෙදෙනාම විවාහයේ සාක්ෂියට අත්සන් තැබූහ.
“මට තවත් විවාහ මංගල උත්සවයක සාක්ෂියට අත්සන් කරන්න තියෙනවා”යැයි මනාල යුවළට පැවැසූ මෛත්‍රී  පිටත්ව ගියේය. පිටත්ව යාමට පෙර ආයුබෝවන් කියා මහින්දට ආචාර කිරීමට මෛත්‍රී අමතක කළේ නැත.  මෛත්‍රී පිටත්ව ගියත් මහින්ද විනාඩි හතළිස්පහක් පමණ එහි රැඳී සිටියේය.
මෛත්‍රී එතැනින් ගියේ එම හෝටලයේම පැවැති තවත් විවාහ මංගල උත්සවයකටය. ගීත රචකයකුගේ විවාහ මංගල උත්සවයක් වූ එහි අමුතුම ආකාරයේ කේක් පෙට්ටියක් විය. ගීත ‍පොතක ආකාරයකට සකස් කර තිබූ එම කේක් පෙට්ටිය අතට ගෙන එහි අලංකාරය බැලීමටද මෛත්‍රී අමතක කළේ නැත.
විවාහ මංගල උත්සවවලට සහභාගීවූ මෛත්‍රී පැමිණියේ ගාල්ලටය. ඒ ගාල්ලේ පැවැති වැඩසටහන් කිහිපයකට සහභාගී වීමටය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඔහු පැමිණියේ විදුහ‍ලේ කීර්තිමත් ආදි සිසුවෙකු වූ ජනපති උපදේශක හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු සමගය. රිච්මන්ඩ් ආදි සිසුහු වන දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ ඇතුළු අමුත්තෝ ඊට එක්ව සිටියහ.
මෛත්‍රී මහින්ද මුහුණට මුහුණ හමුවී කතා නොකළත් රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ මහින්ද අගය කරමින් සිය කතාවේදී අදහස් දැක්වූවේය. මෛත්‍රී කීවේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් බිහිවූ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් වන විජයානන්ද දහනායක හා මහින්ද රාජපක්ෂ අමතක කළ නොහැකි බවය.
රිච්මන්ඩ් විද්‍යාලයේ ළමුන් මෙන්ම නාලන්දා විද්‍යාලයේ ළමයෙක්ද මේ සතියේ මෛත්‍රී හමුවිය. ඒ ඒඩ්ස් රෝගයට ප්‍රතිකාරයක් සොයාගත් කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසුවාය.
“පුතා මොකද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ”මෛත්‍රී ඇසුවේ ඔහු විදේශගතවනු ඇතැයි යන විශ්වාසය ඇතිවය.
“මම පිටරට යන්නෙ නෑ සර්. කොතලාවල ඇකඩමි එකට ගිහිල්ලා ඉගෙන ගන්නවා”එම සිසුවා පැවසුවේය.
“මමත් ළඟදී එහේ ගියා. ඒක දැන් හොඳට පවත්වාගෙන යනවා. රජයෙන් පුතාට විය යුතු සියලුම දේ අපි කරලා දෙනවා”මෛත්‍රී එම සිසුවාට සහතිකයක්ද දුන්නේය.

related posts container

 
Top